Friday, May 31, 2013

ලක්ෂ 3ක් අල්ලස් ගත් සිද්ධිය

ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන හෝමාගම දිසා අධිකරණයේ විනිසුරු සුමිත් අබේසිංහ මහතා ලබන මස 03 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නියම කළේය.  සැකකාර විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඊයේ (30) සවස 6.30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
විනිසුරුවරයා ඉදිරියේ විභාගවන නඩුවක් දිනවා දීම සඳහා මෙසේ අල්ලස් ලබා ගත් බවට අල්ලස් කොමිසම වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.
හංවැල්ල ප්‍රදේශයේ පැමිණිලිකාරිය ගේ නිවසේ දී විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා මගින් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේ 29 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හෝමාගම පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන ගොඩගම කැන්දලන්ද 170/1, පදිංචි පො.කො. 60305 එම්. මහින්ද කිත්සිරි හා හෝමාගම දිසා විනිසුරු පිටකෝට්ට බැද්දගාන පදිංචි එච්.සී. සුනිල්වික්‍රම අබේසිංහ යන අයවළුන්ය.
මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන්නේ අංක 90/1 සියරට හෝටලය ඇඹුල්ගම හංවැල්ල පදිංචි දීපිකා ශ්‍යාමලී ජයවීර නැමැත්තියයි.
ඇඹුල්ගම රජමහ විහාරයේ විහාරාධිපතිවන ගල්කන්දේ බෝධිවංශ හිමි විසින් හංවැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව හෝමාගම දිසා අධිකරණයේ විභාග වන 13774 විශේෂ දරන නඩුවේ තීන්දුව අල්ලස් පැමිණිලිකරුවන්ට වාසි සහගත වන ලෙස ලබා දීමට මෙසේ ලක්ෂ 3ක අල්ලස් මුදලක් සැකකරුවන් ඉල්ලූ බවට පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම නඩුව සඳහා පෙනී සිටීමට පැමිණිලිකාරිය හෝමාගම අධිකරණය ට පැමිණි අවස්ථාවේදී එහි සිටි පොලිස් කාන්තාවක් විසින් නඩුව දිනන්න නම් සල්ලි වියදම් කරන්න ඕනෑ යැයි පවසමින් ඇගේ ජංගම දුරකතන අංකය ඉල්ලා පළමු සැකකරු වෙත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වේ.
මෙහි පළමු සැකකරු වෙනුවෙන් නීතිඥ සිතාරා මීමන මහත්මියද විනිසුරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය නීතිඥ අජිත් පතිරණ සමඟ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
නඩුවක පැමිණිලි කරුවකුගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට සම්බන්ධ යැයි කියන හෝමාගම දිසා විනිසුරුවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගෙන ඇත.
මෙම දිසා විනිසුරුවරයා ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කළද ඔහු විනිසුරුවරයකු වශයෙන් සිටියදී නියෝග ලබා දීමෙන් සහ තීන්දු ලබා දීමෙන් බන්ධනාගාරගතවූ රැඳවියන් රැසක් බන්ධනාගාර තුළ සිටීම ඔහුගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් බැවින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ.
ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කළ දිසා විනිසුරුවරයා රිමාන්ඩ් ගත කිරීමට නියෝග ලැබුවද ඔහු පවසා ඇත්තේ තමාට කොන්දේ අමාරුවක් ඇති බැවින් රෝහල් ගත වීමට අවශ්‍ය බවයි.
ඔහුගේ එම ඉල්ලීම මෙන්ම බන්‍ධනාගාරයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු මත මෙසේ ඔහු බන්ධනාගාර රෝහල් ගත කළ බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් දිනමිණට පැවසීය.

සිරංජනී කුමාරි – පණ්ඩුක සමරසේකර

No comments:

Post a Comment