Wednesday, May 29, 2013

ලොව ශක්තිජනකම පානයක් - පොල් වතුර

පොල් වතුර ලෝකයේ ඉහළ පෝෂණ ගුණයකින් යුත් ශක්තිජනක පානයක් ලෙස රටවල් කිහිපයක කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්‍ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා පැවැසුවේ පොල් වතුරවල පොටෑසියම් හා ඛනිජ ඇති නිසා ක්‍රීඩකයන්ගේ බීමක් ලෙස පොල් වතුර හඳුනාගෙන ඇති බවයි.

ස්වභාවිකව ලැබීම, ඉහළ පෝෂණ ගුණය, නැවුම් බවින් යුක්ත වීම, සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයක් වීම වැනි ගුණාංග නිසා පොල් වතුරවලට ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක් ඇතිවී ඇති බවත් ඇසුරුම් කළ පොල් වතුර පැකට් එකක් (ට්‍රෙන්ටා පැක්) ඇමෙරිකන් ඩොලර් පහක් වැනි මුදලකට එම රටවල අලෙවි වන බවත් ඒ මහතා කීය.

පැසුණු පොල් හා කුරුම්බා පොල් යන දෙවර්ගයේ පොල් වතුරවල එකතුවෙන් පොල් වතුර පානය සකස් කර ගන්නා බවත් වර්තමානයේ ශ්‍රී ලංකාවෙන්ද පොල් වතුර අපනයනය කිරීමට ආරම්භ කර ඇති බවත් ජයන්ත ගුණතිලක මහතා කීය.

පොල් වතුර එක්කර සකස් කර ගන්නා පානය අපනයනය කිරීමෙන් බ්‍රසීලය, පිලිපීනය, තායිලන්තය වැනි රටවල් ඉහළ ආදායමක් ලබයි.
දැනට ලෝකයේ වැඩිපුරම පොල් අපනයනය කරන රට ලෙස තායිලන්තය පත්වුවද එම රටේ පොල් කර්මාන්තය පහත වැටීම නිසා තායිලන්තයේ සිටි බොහෝ ආයෝජකයන් ලංකාවට පැමිණ ඇති අතර පොල් වතුර මඟින් නව පානය සකස් කර එය අපනයනය කිරීමට මෙරට කර්මාන්ත ශාලාවක්ද ආරම්භ කර ඇත.
ආචාර්ය ගුණතිලක මහතා පැවැසුවේ පොල් වතුර එක්කර සකස් කරන පානය අපනයනය කිරීම දිගටම කරගෙන ගියහොත් එය ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම අපනයන ආදායම වනු ඇති බවයි.

No comments:

Post a Comment