එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක රටාව පැත්තකට නම්මා ගැනීමට උපකාරි වීම වෙනුවෙන් 10,000 (ඩොලර් 15,139)ක මුදලක් ලබා දීමට තමාට යෝජනා කෙරුණු බව හිටපු තරග විනිසුරු ජෝන් හෝල්ඩර් පවසයි.
මේ යෝජනාව කෙරුණේ සාජාහි පැවැති ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගයක් සම්බන්ධයෙන් බව ටෙස්ට් තරග 11ක් විනිශ්චය කළ හෝල්ඩර් අනාවරණය කරයි.
“ලකුණු 85ක සබඳතාවක් පිහිටුවීම සඳහා මා කෙසේ හෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාව ලබා දුන්නොත් ඔවුන් මට මුදලින් 10,000ක් දෙන බව කීවා” 68 හැවිරිදි හෝල්ඩර් බී.බී.සී. ගුවන්විදුලියේ ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ වැඩසටහනේදී කියා සිටියේය.
“ඔබ අල්ලා ගෙන ඉන්නේ වැරදි පුද්ගලයාවයි කියා මා කීවා.”
බාබෙඩොස් හි උපන් හෝල්ඩර් එංගලන්ත ප්‍රාන්තයක් වන හැම්ප්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ පන්දු යවන්නෙකි. 1983 වසරේදී පළමු පෙළ ක්‍රිකට් තරග විනිසුරුවරයකු බවට පත්වූ ඔහු 1988 සිට 2001 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 11ක් හා ජාත්‍යන්තර එක්දින තරග 19ක් විනිශ්චය කර තිබේ. ඉන්දියා ප්‍රිමියර් ලීගයේ තරග පාවාදීම් පිළිබඳව මෑතකදී කරුණු හෙළිදරව් වී තිබෙන තත්ත්වයක් මත, තරග පාවාදීමකට හෝල්ඩර් වෙත සමීප වූ අවස්ථාවක් තිබේදැයි මේ වැඩසටහනේදී ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණි. “ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය අතර ජාත්‍යන්තර එක්දින තරගාවලියක විනිශ්චය සඳහා මා 1993දී සාජාහි සිටියා” යැයි හෝල්ඩර් ප්‍රකාශ කළේය.
“එක්තරා පුද්ගලයෙකුට මා හඳුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 85ක සබඳතාව ගොඩනැගීම සහතික කරනවා නම් මට 10,000ක් දෙන බව ඔහු කීවා.”
“තරගය වරින් වර වෙනස් වෙද්දී මුදල් ඉපයීමේ ව්‍යාපාරයක තම කල්ලිය සම්බන්ධ වී සිටින බව ඔහු මට කීවා. මා කීවා ‘ඔබ හමුවුනේ වැරදි මිනිහාවයි’ කියලා. තරග පාවාදීම්වලට සහභාගි වන ක්‍රීඩකයන් හා තරග විනිසුරුවන් ලෙහෙසියෙන් මුදල් ඉපැයීම කියා දෙයක් නැති බව වටහා ගත යුතුයි.’
“ඔබ එවැනි දෙයකට සම්බන්ධ වුනොත් ඔබේ වෘත්තීය ජීවිතය විනාශයි. ඔබේ ආත්ම ගෞරවය ඔබට නැති වේවි. ක්‍රීඩකයන් හා තරග විස්තර ප්‍රකාශකයන් ඔබ ගැන දැන ගනීවි.”
“සැකයෙන් මට මගේ ජීවිතය ගෙන යන්න බැහැ.
වංචාකාරයෙක් ලෙස මාව සැමවිටම මතක් කරාවි. ඒ නිසා මට ‘බැහැ’ කියන්න සිදුවුනා. ඊට පස්සේ මා ඒ පිළිබඳව වාර්තා කළා” හෝල්ඩර් වැඩි
දුරටත් කියා තිබේ.
අයි.පී.එල්. තරග පාවාදීම් සම්බන්ධයෙන් ඉන්දියා ටෙස්ට් පන්දු යවන ශාන්තකුමාරන් ස්‍රීසාන්ත් හා ඔහුගේ රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩක සගයන් වන අජිත් චන්දිලා හා අන්කීට් චවාන් අත්අඩංගුවට ගැනිණි.
මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා, පාකිස්තාන ක්‍රිකට් තරග විනිසුරු අසාඩ් රවුෆ් පිළිබඳවද ඉන්දියා පොලිසිය පරීක්ෂණ පවත්වන බවට පළවූ වාර්තා හේතුවෙන් ඔහු ලබන මස පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.
No comments:
Post a Comment