Thursday, May 23, 2013

සිනා කතා - ගුණදාසගේ දවල් කෑම එක

මහනුවරින් කෑගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා කාර්යාලයේ රාජකාරි කටයුත්තකට බස්රථයකින් පැමිණි ගුණදාස (ගුන්ඩා) අවිස්සාවේල්ලට පැමිණි විට දිවා කාලයද පසුවී ගොසිනි. මහන්සියත්,බඩගින්නත් නිසා හොඳින් හෙම්බත්වී සිටි ඔහු බස්රථ නැවතුම්පොළ අසළ පිහිටි හෝටලයකට ගොඩ වුයේ බඩ කට පුරා කා ඉන් පසුව රාජකාරි කටයුත්තට බහින බලාපොරොත්තුවෙනි. ගනුදෙනුකරුවන්ගෙන් පිරි තිබුණු හෝටලයේ පහසුවෙන් කෑම වැළඳීමට ස්ථානයක් නොවුයෙන් ගුණදාස කොනක තිබුන මේසයක් අසලට ගොස්,කළු හම් බෑගය මේසය උඩ තබා, පුටුවක් ගෙන හරිබරි ගැසී වාඩි වුනේය. කඩිසරව එහා මෙහා දුව යමින්,බිත්තර කෑම එකයි,මස් කෑම දෙකයි යයි පවසමින් වේටර්වරයා ගුණදාස අසලට පැමිණ වේටර්: "මහත්තයා මොනවද ඕනා" යැයි ඇසිය. 
  ගුණදාස: "මොනවද කෑමට තියෙන්නේ" 
වේටර්: "මස් තියෙනවා,බිත්තර තියෙනවා,මාළු තියෙනවා,බැදපු මාළු තියෙනවා..."
ගුණදාස : "මොනවද මාළු?" 
වේටර්: "තලපත්"
ගුණදාස: "අපෝ තලපත් ? නැද්ද පරව් එහෙම ?"
වේටර්: "නැහැ"
ගුණදාස: "එහෙනම්....... ගේනවාකෝ එළවළු කෑම එකක්"

ගුණදාසගේ එළවළු කෑම එකට මුරුංගා,පරිප්පු,මුගුණුවැන්න මැල්ලුම,පපඩම් සමඟ මාළු මිරිස් වෑන්ජනය. කට කටස් ශබ්දය නඟමින් පපඩම කා දැමු ගුණදාස කෑම පිඟානේ අඩක් ගිල දැමීය.දැන් ඔහු මාළු මිරිස් ව්‍යංජනය බත් සමඟ අනා කයි.ඒ කන අතරේදී ඔහුට ඉතා රසවත් යමක් හැපුනි. ඒ හාල්මැස්සෙකි. හාල්මැහි රසයෙන් පිනා ගිය ගුණදාස එම ව්‍යංජනය දෙවන වරටත් ගෙන්වාගැනීමේ අටියෙන් වේටර්වරයාට කථා කොට මේසේ පැවසිය.
ගුණදාස: "මේ මාළු මිරිස් වෑන්ජනයක්ද නැත්නම් හාල්මැස්සෝ වයන්ජනයක්ද ? "
වේටර්: "මේක මාළු මිරිස් ව්‍යංජනයක්"
ගුණදාස: "එහෙනම් කොහොමද අයිසේ මේකේ හාල්මැස්සෙක් ඉන්නේ ?
මෙය තඹ දොයිතුවකටවත් ගණන් නොගත් වේටර්වරයා ඈත පිහිටි මේසයක් පිරිසිදු කරමින් ....
"ආ මහත්තයා,එහෙනම් ඌ වැරදිලා වැටෙන්න ඇති" යැයි ඈත සිට ශබ්ද නගා පැවසිය.
තකට තක ඉන්නා ගුණදාසද මෙම වැකිය ඉවසුම් නුදුන්නේය.කෑම වැළඳීමද එපාවූ ඔහු,
"ඈ අයිසේ ! එහෙනම් තමුසෙලාගේ කුස්සිය ලඟම වෙන්නැති මුහුද තියෙන්නේ නේද? " යැයි වේටර්වරයාට පමණක් නොව මුළු සභාවටම ඇසෙන සේ ශබ්ද නඟා පවසන අතර තුර අත සෝදා පුටුවෙන් නැගිට මුදල් අයකැමියා අසලට ගියේය.

No comments:

Post a Comment