Thursday, May 30, 2013

හෝමාගම දිසාවිනිසුරු අල්ලස් ගනී

හෝමාගම දිසා අධිකරණයේ විනිසුරුවරයා අල්ලස් හෝ දුෂණ කොමිසමේ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
විනිසුරුවරයා ඉදිරියේ විභාග වන නඩුවක් දිනවාදීම සඳහා විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා මගින් වගඋත්තරකාරියකගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදීම මෙසේ අල්ලස් දැලට කොටුවී ඇත.
මෙම නඩුව දිසා විනිසුරුවරයා ඉදිරියේ අද (30) විභාග වීමට නියමිතව තිබිණි. හෝමාගම ප්‍රදේශයේ ලැගුම්හලක් පිහිටි ඉඩමක් සම්බන්ධව එම ප්‍රදේශයේම හිමිනමක් විසින් ඉහත කී වගඋත්තරකාරියට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
දිසා විනිසුරුවරයා සිය ආරක්ෂක පොලිස් නිලධාරියා සමඟ ඊයේ රාත්‍රියේ එම ගෙස්ට්හවුසිය වෙත ගොස් අල්ලස් ලබාගන්නා අවස්ථාවේදීම මෙසේ අල්ලස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

විජයානි එදිරිසිංහ

රුපියල් ලක්ෂ 3 ක් අල්ලස් ලබා ගනිද්දී ඊයේ රාත්‍රී 11 ට පමණ අත් අඩංගුවට ගත් හෝමාගම දිස්ත්‍රික් විනිසුරු සුනිල් අබේසිංහ අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.
ව්‍යාපාරිකයෙකුගේ ඉඩම් ප්‍රශ්නයක නඩුවක් ඔහුට පක්ෂව නඩු තීන්දුව ලබා දීම සඳහා ලක්ෂ 3 ක් කප්පම් මුදල් ලබා ගනිද්දී දිසා විනිසුරු අබේසිංහ අත් අඩංගුවට ගත්තේ අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් හංවැල්ලේ දී ය. කොමිසමේ නිලධාරීන්ට දැනුම් දී අල්ලස ලබා දුන් ව්‍යාපාරිකයා අද දහවල් කුරුඳුවත්ත පොලිසියට ඒ පිළිබඳ තම පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.
දිසා විනිසුරුවරයා සමග අත් අඩංගුවට ගත් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාවද 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.


(සේයාරූ ඩේලි මිරර්)

No comments:

Post a Comment