
මගේ දරුවගේ ජීවිතය නැති වුණේ සමාජයේ වූ යම් වරදක් නිසයි. අධ්‍යාපනය කොතරම් ලැබුවත් ආධ්‍යාත්මික ගුණයක් නැති නම් ඒ අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. මගේ අහිංසක පුතාට ඒ දේ සිදු කළ කෙනත් ඒ වගේ කෙනෙක් විය යුතු යෑයි දන්සලක් පැවැත්වීම සඳහා සාකච්ඡා කරමින් සිටි තරුණ පිරිසක් අතරින් ඇති වූ බහින් බස්වීමකින් මියගිය 16 හැවිරිදි පාසල් සිසුවාගේ මව වූ රේණුකා ප්රියන්ජනී මහත්මිය හඬා වැළපෙමින් පැවසුවාය.

එහෙත් දෛවයේ ඉරණමට අනුව ඒ දේ සිදුවී අවසානය. දන්සලක් පැවැත්වීම සඳහා මිතුරකුගේ නිවසට එකතු වූ තරුණ පිරිසේ එක් අයකු සදහටම ලොවින් සමුගෙන ඇත. තවකෙකු නීතිය හමුවේ සිර මැදිරියකය.
අනෙක් මිතුරන් මානසික පීඩනයකට පත්ව සමාජයට මුහුණදිය නොහැකිව අසරණ තත්ත්වයකට පත් වී සිටිති.
මේ සියල්ලට මුල තාරුණ්‍යයේ ආවේගශීලී බවය. මෙම සිද්ධියෙන් මරණයට පත්වූ චලක ධනුෂ්ක දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාය. ඔහු ඉගෙනගත් කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක් අප හා පැවසුවේ චලක පංතියේ සිටි ආදර්ශවත් සිසුවකු බවය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියකු වූ චලකගේ පියා පවසන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පවුල් පසුබිමත් බලපාන්නට ඇති බවය. ඔහු එසේ පවසන්නේ සැකකාර පාසල් සිසුවාගේ පියා චලකගේ මවට මෙසේ ප්‍රකාශ කර තිබීම නිසාය. "කොල්ලෝ ඔහොම තමයි අතට අහුවෙච්ච එකෙන් දමල ගහනවා." අපි මේක ගොඩින් බේරගමු යනුවෙන් පවසා තිබේ.
හෙතෙම එසේ පවසා ඇත්තේ එම මව ඔහු හමුවේ "ඇයි අපේ පුතාට මේ අපරාධය කෙරුවේ" යනුවෙන් විමසූ අවස්ථාවේය.
ඇය මෙම ප්‍රකාශය පිළිබඳව ද දැඩි කම්පාවට පත් වී සිටින අතර "මගේ දරුවාට වූ දේ තවත් දරුවකුට නොවේවායි" ප්‍රාර්ථනය කර සිටී.
චලකගේ දේහයට ගෞරව දැක්වීමට වැල නොකැඩී එන තරුණ යාළුවන් පිරිස චලකගේ සමාජ ගතවීමට හොඳම නිදසුනකි.
ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය සමාජශීලී තරුණයෙකි. ඔහුගේ අභාවය ප්‍රදේශයට පාඩුවක් බව මිතුරු කැළ පවසති.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක මහතා පවසන්නේ තාක්ෂණ ලෝකයත් සමග ඉදිරියට යන තරුණ පිරිස පිළිබඳ ඔවුන්ගේ දෙමාපියන් මෙයට වඩා සැලකිලිමත් විය යුතු බවය.

No comments:
Post a Comment