Sunday, May 26, 2013

Story of innocent child who died with father

පියා සමග මියගිය දරුවාගේ කතාව

 


කරුණාදාස තිස්‌සමහාරාමයට ආවේ මෙයින් අවුරුදු දහසයකට පෙරදීය. ඒ හේන් ගොවිතැන් කරනු සඳහා ය.

තිස්‌සමහාරාමයේ දී ඔහුට ජයන්ති ජයමාලා හමුවෙයි. ජයන්ති දරුවන් තිදෙනකු සමග අසරණව සිටි කාන්තාවකි. ඒ ඇගේ සැමියා ඇය අතැර ගොස්‌ සිටි හෙයිනි.

තමාගේ තනිකඩ ජීවිතයට පිළියමක්‌ ලෙස කරුණාදාස ජයන්තිව කසාද බැඳ ගත්තේ අවංක සිතිනි. ඒ අවංක කම කෙතරම්ද යත් ජයන්ති පෙර සැමියාගෙන් ලත් දරු තිදෙනාටද ඔවුන්ගේ පියා ලෙස සිය පෙළපත් නාමය දීමට තරම් ඔහු කරුණාවන්ත විය.

කරුණාදාස තමන්ගේ නොවන දරුවන්ට තම පෙළපත දුන්නා පමණක්‌ නොව හැබෑ ලෙසම ඔවුන්ට ආදරය කළේය.

 
"තාත්ත මට හරි ආදරෙයි. ඔහු මට සැලකුවේ මගේම තාත්ත වගේ...."

වැඩිමහල් දරුවා මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ කීවේ එබැවිනි.

කරුණාදාසට දාව ජයන්තිට පුතෙකු ලැබුණි. ඔහුගේ නම දිලිප් මධුසංඛය. එහෙත් තම ලෙයින් උපන් පුතාට මෙන්ම සෙසු දරුවන්ටද කරුණාදාස පෑ ආදරයේ කිසිදු වෙනසක්‌ නොවීය.

කරුණාදාස බෝසත් පියෙකු විය. එහෙත් ජයන්ති මේ බෝසත් පියාගේ සිත චංචල කළේය. අසල ගොඩනඟන හෝටලයක වැඩ කරන්නට තරුණයකු ආවේය. කරුණාදාස වැඩ කළේත් ඒ හෝටලය ඉදිකරන වැඩබිමේය. ඒ නිසා එම තරුණයාත්, කරුණාදාසත් යහළුවන් විය. එබැවින්ම තරුණයා කරුණාදාසගේ ගෙදරට නිතර යන එන්නකු බවට පත්විය. අන්තිමේදී තරුණයා වඩාත් කුළුපග වූයේ කරුණාදාසගේ බිරිඳ සමගය.

එය නොමනා සම්බන්ධතාවක්‌ බව කරුණාදාසට වැටහිණ. ඔහුත් බිරිඳත් අතර ගැටුම් හටගන්නට පටන් ගත්තේ එතැන් සිටය. බෝසත් සැමියා යක්‍ෂයකු බවට පත්විණ. ගුටි බැට දෙන හැම වරකම ජයන්ති කීවේ "තමුසෙ මාව බොරුවට සැක කරනව. ඔය මිනිහත් එක්‌ක මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ" යනුවෙනි.

එහෙත් කරුණාදාසට අවශ්‍ය තරම් සාක්‌ෂි තිබුණි. එබැවින් ඔහු වරක්‌ ලියුම් දෙකක්‌ ලියා ලොකු පුතා අතට දුන්නේය.

"ලොකු පුතේ අම්මගෙ නරක සම්බන්ධයක්‌ තියෙනවා. මම ඒක නවත්තන්න පුළුවන් විදියට උත්සාහ කළා. ඒත් ඒ සම්බන්ධය උඹලගෙ අම්මා නතර කරන්නෙ නැහැ" යෑයි ඒ ලියුම්වල කරුණාදාස සඳහන් කර තිබුණි.

එදා අරගලය පුපුරා ගිය දවසය. කරුණාදාස පැමිණියේ බීමත්වය. ඔහු ජයන්තිට පහර දුන්නේ නොමනා සම්බන්ධය නතර කරන ලෙස අවසන් වරට තර්ජනය කරමිනි.

අනතුරුව ඔහු තමන්ගේ පුතාගේ අතින් අල්ලා ගත්තේය. ඒ දරුවා පස්‌ හැවිරිදිය. දරුවා පියා පසුපස ගියේය. තාත්තා බාලම මල්ලී රැගෙන යනු ලොකු පුතා දැක තිබුණි. එහෙත් තාත්තා මෙවැනි පියවරක්‌ ගනිතැයි ලොකු පුතා විශ්වාස කළේ නැත.

කරුණාදාසගේ සිත යක්‍ෂාවේශයෙන් පිරී තිබුණි. ඔහු ගියේ පෙනෙන දුරින් පිහිටි ළිඳ සොයා ගෙනය. හේ පළමුව තම ලෙයින් උපන් පුතා ඔසවා ළිඳට දැම්මේය. දෙවනුව තෙමේ ළිඳට පැන්නේය. ඈත සිට මේ සියල්ල බලා සිටි ලොකු පුතාට කරගත හැකි කිසිවක්‌ නොවීය.

ළිඳ අඩි 50 ක්‌ පමණ ගැඹුරුය. ළිඳ අඩක්‌ පමණ වතුරින් පිරී තිබුණි. පියා සහ පුතා හොයා ගන්නට වතුර මෝටරයක්‌ යොදා ළිඳ ඉසිනු ලැබීය. එහෙත් වතුර සහමුලින්ම හිස්‌ කරගත නොහැකි විය. අන්තිමේදී මළසිරුරු දෙක ගොඩ ගැණුනේ කිරින්දෙන් කැඳවාගෙන ආ කිමිදුම්කරුවන් විසිනි.

කරුණාදාස ජීවිතය නසා ගත්තේ අධික ආවේගය නිසාය. ජයන්ති සමග ගැටුම නිසාය. එහෙත් පස්‌වියෑති දරුවා ද ඊට බිලි නොදිය යුතුව තිබුණි. සහතික වශයෙන් එය නොකළ යුතුව තිබුණි.

මෙවැනි සිදුවීම් ගණනාවක්‌ම පසුගිය සතියේ වාර්තා විය. තම බිරිඳ අනියම් සබඳතාවක්‌ පවත්වන බවට ආරංචි ලද තවත් පියෙක්‌ තම බිරිඳට ගිනි තබා මැරූ බව වාර්තා වූයේ බලංගොඩ ප්‍රදේශයෙනි. මවක්‌ දින 4 ක්‌ වයසැති දරුවා සමග ළිඳට පැන මියයන්නට තැත්දැරූ පුවත වාර්තා වූයේ හිඟුරක්‌ගොඩිනි. එහිදී දරුවාගේ ජීවිතය අහිමි වී ගිය මුත් මව ජීවතුන් අතරය. වවුනියාවේ මවක්‌ දරු තිදෙනා සමග ළිඳට පැන්නාය. ඔවුන් සියලු දෙනාම මියගියහ.

මේ දිවිනසා ගැනීම්වලට විවිධ හේතූන් තිබිය හැක. ඉවසාගත නොහැකි දුප්පත්කම, අධික සිත් වේදනාව, අධික කෝපය වැනිදෑ විය හැක. අනිත් අතට මෙම දිවි නසා ගැනීම්වලට මාධ්‍ය මගින් දෙන ප්‍රචාරයන්ද බලපානවා විය හැක. දිවි නසා ගැනීමක්‌ ගැන පුවත්පත් හෝ රූපවාහිනී මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ දෙන විට එම විධි ක්‍රමය අනුගමනය කිරීමට දිවි නසා ගැනීමට සිතමින් සිටින අය පෙළඹෙනවා විය හැක.

කෙසේ වෙතත් ඉතාම කනගාටුදායක කරුණ නම් වැඩිහිටියන්ගේ වැරැදිවලට කුඩා දරුවන් ජීවිතවලින් වන්දි ගෙවීමය. කුඩා බිළිඳුන් කුඩා දරුවන් මෙලොව එන්නේ මෙලෙස අකල්හී මියයන්නට නොවේ. ඔවුන් වැඩිහිටියන් වී මෙලොව ජීවිතය භුක්‌ති විඳිය යුතු අය වෙති. ඒ මානව අයිතිවාසිකම ඔවුන්ට තිබිය යුතුය. කරුණාදාස ළිඳට දැමූ දරුවා කුමක්‌ දනීද?

දිවි නසා ගැනීමට වඩා ජීවත් වීමට ඕනෑ තරම් පිළිතුරු සොයා ගත හැක. පටාචාරාවට පළමුව සිය සැමියා නැති විය. දෙවනුව, තෙවනුව දරු දෙදෙනා අහිමි විය. එහෙත් ඇය ජීවිතය අහිමි කර ගත්තේ නැත. පටාචාරා විසඳුම සොයා ගත්තේ ධර්මය තුළට පිවිසීමෙනි

කරුණාදාසට දරුවාත් සමග ළිඳට පනිනවාට වඩා වෙනත් විසඳුම් තිබුණි. පළමුව ඔහුට තිබුණේ අයහපත් බිරිඳගෙන් මිදීමය. දරුවා

රැකගෙන ජීවත් වන්නට ඔහුට ඕනෑ තරම් අවකාශ තිබුණි. එහෙත් ඔහු එකවරම ඉඩ හැරියේ ක්‍ෂණික ආවේගයටය.

තමන් අදහන ආගම ධර්මය පිහිට වන්නේ සිත් වේදනාවලදීය. දුක, වේදනාව, ශෝකය තමන්ට පමණක්‌ උරුම වූ දෙයක්‌ නොවේ. මෙවැනි අභාග්‍යයන් සිදු වන්නේ තමන්ට පමණක්‌ නොවේ. නොමළ ගෙදරකින් අබැටක්‌ සොයා ගිය කිසාගෝතමිය අන්තිමේදී දරුවා මළ ශෝකය නිවා ගත්තීය.

කරුණාදාස සිත් වේදනාවට සොයා ගියේ කෙටි පිළිතුරකි. දරුවන් සමග ළිඳට පැන්න මව සෙව්වේද කෙටි පිළිතුරකි. නැත. කෙටි පිළිතුරු වෙනුවට දිග පිළිතුරු සොයා යා යුතුය. එවිට ජීවත්වීමෙහි වටිනාකම වැටහේ.

කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ යෑයි යන කව්පදය දිවි නසා ගැන්මට පෙර එක්‌වරක්‌ හෝ සිහියට නඟා ගන්නේ නම් කෙතරම් හොඳ ද?

පසුබිම් වාර්තාව සහ ඡායාරූප
දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

 

No comments:

Post a Comment