Tuesday, May 21, 2013

ජනතාව ඇන්දවීමේ ලංවිම වියදම දවසට රු.මිලියනයයි

විදුලි බිල සහ ජනපති සහනය පිළිබඳ පලකෙරෙන පුවත්පත් දැන්වීම් සදහා විදුලි බල මණ්ඩලය දිනකට වැය කරන මුදල රුපියල් මිලියනයකට අධික බව වාර්තා වෙයි. “වසන් කරන ඇත්ත මෙන්න“ යනුවෙන් ජාතික පුවත්පත් වල පළ කර ඇති පිටු භාගයේ වර්ණ දැන්වීම් සදහා මෙම මුදල වැය කරමින් සිටියි.
සාමාන්‍යයෙයන් ලංකාදීප පුවත්පතේ මෙවැනි පිටු භාගයක වර්ණ දැන්වීමක් සදහා අයකෙරෙන මුදල රුපියල් 1,36,281.60 කි, දිවයින පුවත්පතේ රු.1,30,000 කි. මව්බිම පුවත්පතේ රුපියල් 1,14,912.00 කි තවද මේ ආකාරයට ලක්බිම,රිවිර ආදී දිනපතා සිංහල පුවත්පත් වල මෙන්ම දමිළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල දින ගණනාවක්ම මෙම දැන්වීම පල කර තිබේ.
මෙමගින් කියාපෑමට උත්සහ කරන්නේ ජනපති විදුලි බිලට දුන් සහනයෙන් රටේ හරි අඩකට වඩා වැඩි ජනගහනයකට විදුලි බිල වැඩි නොවන බවයි. නමුත් ගැටලුව වන්නේ දැන්වීම් සදහා දිනකට රුපියල් මිලියනයක් වියදම් කළ හැකිනම් එම සහනයත් ජනතාවට ලබාදිය නොහැක්කේ මන්ද යන්නයි. මෙම දැන්වීම හරහා අපේක්ෂා කරන්නේ කුමක්ද? හුදු දේශපාලන අරමුණු සපුරාගැනීමක් පමණි. විදුලි බිලි වැඩිකිරීමේ ක්‍රියාවලියට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඩ පැවැත්වීම සදහා සීනිබෝල දීමකි. නැත හොත් ජනතාව ගොනාට ඇන්දවීමක් පමණි.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන අන්දම සදහන් කර දැන්වීම් දැමුවාට කම් නැත. මන්ද එමගින් දැනුවත් වන ජනතාව අඩු විදුලි පරිභෝජනයකට ගමන් කරන බැවිනි. මේ ආකාර දැන්වීම මගින් ජනතාව ඇන්දවීමෙන් පසු මහජනතාව හිතේහැටියට විදුලිය පරිභෝජනය කරනු ඇති අතර විදුලි බිල අතට ලැබුන පසු සැබෑ තත්වය වැටහෙනු ඇති.

No comments:

Post a Comment