ජනාධිපති විමර්ශන ඒකකයේ බව කියන සහකාර පොලිස් අධිකාරිවරයකු පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් වනාවිල්ලුව ප්‍රාදේශීය ලේකම් සහ වනාතවිල්ලුව පොලිසියේ පිරිසක් ද යොදාගෙන මැර පිරිසක් ලවා සමාගම සතු දේපොළ කොල්ලකෑමට තැත්කරන බවට වනාතවිල්ලුව, මොරපතාව පාරේ, ග්‍රීන්ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පෞද්ගලික) සමාගමේ සහ එම සමාගමේ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ කළමනාකාර එච්.ඒ. අමිල දිනේෂ් ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට පැමිණිලිකර තිබේ.
එම සමාගමේ සභාපති රොහාන් සමන් රත්නායක වෙනුවෙන් කළමනාකාර එච්.ඒ. අමිල දිනේෂ් ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ තමා කළමනාකරු වශයෙන් සේවය කරනා ග්‍රීන්ෆීල්ඩ් පොල් වගා ව්‍යාපෘතියට අක්කර දහසකට පමණ ආසන්න පොල් වගා භූමියක් අයත් බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් පරීක්ෂකවරයකු බව කියන අයකු ඇතුළු කණ්ඩායමක් තම සමාගමේ සභාපතිවරයාගෙන් රුපියල් කෝටියක් (1,00,00,000) අල්ලස් ඉල්ලූ බවත් ඒ මුදල දීමට නොහැකි බව කී විට රුපියල් විසිපන් ලක්ෂයක් (25,00,000) ඉල්ලූ බවත් සඳහන් වේ.
ඒ ඉල්ලීමද ඉටු කිරීමට නොහැකි වූ විට සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි කියන අයකුගේ ද සහායෙන් තම සමාගමේ සභාපතිවරයාගේ සහෝදරයා බොරු චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පෙන්නා දී තිබේ.
ඉන්පසුව අල්ලස් ඉල්ලා නොදුන් තැන තමාගේ ව්‍යාපාරික ස්ථානයට මැරයන් එවා හිරිහැර කරන බවත් සේවකයන්ට හා තමාටත් තම සභාපතිවරයාටත් මරණ තර්ජනය කර පොල් වගා ව්‍යාපෘතිය කොල්ලකෑමට තැත්කරන බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද සහායෙන් තම ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යෑමට නීත්‍යනුකූලව ලබාගත් ඉඩම් ආපසු ලබා ගැනීමට තැත් කරන බව පොලිස්පතිට යැවූ ලිපියේ සඳහන්ය.
මැර කණ්ඩායම් තම පොල් වගා භූමියේ වැටවල් කඩා ඉඩම්වලට ඇතුළු වී සේවකයන්ට පහර දෙන බවත් මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිලිවලට යහපත් ප්‍රතිචාරයක් නැති බවත් පැමිණිල්ලේ දැක්වේ.
රජයේ පූර්ණ තක්සේරුව අය කරගෙන ප්‍රධාන පත්‍ර මඟින් මධ්‍යම පාන්තිකයන් ලබාගන්නා ඉඩම හා වෙනත් සින්නක්කර ඉඩම් තම සමාගමෙන් හෝ තම ව්‍යාපාරය සම්බන්ධ ගැනුම්කරුවන්ගෙන් මිලට ගෙන ඉඩම් අක්කර 5 හෝ 10 හෝ කොටස් කර ගැනුම්කරුවන්ගේ ආයෝජනයෙන් පොල් වගාකර සංවර්ධනය කිරීම මේ ව්‍යාපාරයේ ස්වභාවය ලෙසද දක්වා තිබේ.
එම වගා භූමියට එක් ප්‍රධාන සැකකරුවකු පසුගිය පෙබරවාරි 22 වැනිදා වාහන 3කින් මැර කණ්ඩායමක් කැටුව අවුත් ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර වැටවල් කඩා බලෙන් ඇතුළුවී හානි කිරීම ගැන 119ට සහ වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කළ බවත් වනාතවිල්ලුව පොලිසිය එම පැමිණිල්ල ගැන කටයුතු නොකළ බවත් එම නිසා පැමිණිලි යළි 119ට කළොත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවන බව වනාතවිල්ලුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු තමාට තර්ජනය කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ තත්ත්වයට හමුවේ අක්කර දහයක පමණ පොල් වගා භූමිය පාළුවට යන බවත් තමාගේ ආයතනයේ සභාපතිවරයා ඇතුළු සේවක පිරිසක් මරණ තර්ජන මැද ජීවත්වන බවත් පවසන ග්‍රීන්ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ආයතනයේ කළමනාකාර එච්.ඒ. අමිල දිනේෂ් මහතා මේ පිළිබඳ සහනයක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
චන්ද්‍රසේන මාරසිංහ
No comments:
Post a Comment