Friday, May 17, 2013

බිස්‌කට්‌ නිසා දිවි බේරාගත් රෙෂ්මා බෙගම්


 19 හැවිරිදි රෙෂ්මා බෙගම් දැන් බංගලාදේශයේ වීරවරියක්‌ බවට පත්ව ඇත. ඇය වීරවරියක්‌ වූයේ ක්‍රීඩා ජයග්‍රහණයක්‌ නිසා නම් නොවේ. අප්‍රේල් 24 වැනිදා ඩකා නුවර සවාර් ප්‍රදේශයේදී කඩා වැටුණු රානා ප්ලාසා අටමහල් ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිර වී සිටිමින් දින 17 කට පසු නැවතත් හිරු එළිය දැක මෙලොව ජීවත්වීමට වාසනාව ලද තැනැත්තිය නිසාය. රානා ප්ලාසා ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් 1100 ක්‌ මිය ගිය අතර 2500 දෙනා සුන්බුන් අතර සිර වී සිටියදී හමුදාව මගින් ගලවා ගන්නා ලදී.





එහෙත් මේ ඇඟළුම් සේවිකාව දින 17 ක්‌ තිස්‌සේ සුන්බුන් අතර සිර වී සිටියාය. ඇගේ දිවි බේරුනේ අප්‍රේල් 24 වැනිදා උදෑසන සිය සේවා මුරයට යාම සඳහා මිලදී ගත් බිස්‌කට්‌ පැකට්‌ හතර නිසාය. පසුව කඩා වැටුණු ගොඩනැඟිල්ලේ හිල් අතරින් සහන සේවකයන් විසින් පහළට දමනු ලැබූ වතුර බෝතල් ද ඇයගේ දිවි බේරා ගැනීමේ සටනට මහත් උපකාරයක්‌ විය. අප්‍රේල් 28 වැනිදායින් පසුව කිසිම අයකු මේ කඩා වැටුණු ගොඩනැඟිල්ලෙන් පණපිටින් බේරා ගැනීමට හැකි වුයේ නැත. 28 වැනිදා සහින් අකේර් පණ පිටින් සිර වී සිටින බව සොයා ගත්තද මේ ඇඟළුම් සේවිකාව ගලවා ගැනීමට හමුදා භටයින් ක්‍රියාකරද්දී හදිසියේ ඇති වූ ගින්නක දුම ආඝ්‍රාහණය කිරීම නිසා හුස්‌ම හිරවීමෙන් ඒ අසරණ සේවිකාව මිය ගියාය.
එහෙත් රෙෂ්මා බෙගම් පණ පිටින් සිටින බවත් ඇය බේරා ගැනීම සඳහා හමුදාව කළ මෙහෙයුම එරට රූපවාහිනි නාලිකාවල සජීවීව පෙන් වු අතර ඩකා වැසියෝ සියලු වැඩ නවතා නොඉවසිල්ලෙන් රූපවාහිනි වටා රොක්‌වූහ. විනාඩි 40 ක්‌ ඇතුළත ඇය බේරාගනු ලැබූ අතර එය දුටු ඩකා වැසියෝ සතුටින් ප්‍රීතිඝෝෂා කරන්නට විය. රෙෂ්මා ප්‍රතිකාර ලබන හමුදා රෝහලේ ප්‍රධානියකු වන මේජර් ජෙනරාල් චවුද්රි හසන් ප්‍රකාශ කර සිටියේ මේ ඇඟළුම් සේවිකාව සමග තවත් තිදෙනකු සුන්බුන් අතර සිරවී සිටියද ඒ කිසිවකුට දිවි ගලවා ගැනීමට නොහැකි වි ඇති බවයි.

බංගලාදේශ අගමැතිනි ෂේක්‌ හසීනාද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන රෙෂ්මාට දුරකථනයෙන් කතා කර ඇති අතර ඒ අවස්‌ථාවේ ඇය හඬා වැටෙමින් "මට හොඳයි මා වෙනුවෙන් යාච්ඤා කරන්නැයි රටේ නායිකාවගෙන් ඉල්ලා ඇත. රෙෂ්මා දිවි ගලවා ගැනීම අදහාගත නොහැකි බව බංගලාදේශ අගමැතිනිය පවසා ඇත. රෙෂ්මාගේ ගම පිහිටියේ ඩකා නුවරට සැතපුම් 170 ක්‌ ඈතිනි. ඇගේ මව සෙබෙයිදා බෙගම්. සිය දියණිය සුන්බුන් අතරින් පණපිටින් එළියට ගන්නා අයුරු බැලුවේ රූපවාහිනියෙනි. මට හිතාගන්න බැරිවුණා ඇය ජීවත් වෙනවාද කියලා එය හරියටම අවබෝධ වූයේ දුවව රෝහලේදී දකින කොටයි යනුවෙන් සුබෙයිදා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

"සොමොයි" රූපවාහිනි සේවය රෙෂ්මා රෝහල් ඇඳ මත සිටින අයුරු රූගත කර විකාශය කර තිබිණි. මම දවස්‌ පහළොවක්‌ම බිස්‌කට්‌ කෑවා. සමහර දවස්‌වල සහන සේවකයන්ගේ හඬ ඇසුණා. එවිට මට අතට අහුවන දේවල්වලින් යකඩ පොලුවලින් බිත්තිවලට ගැහුවා. ඒත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නෑ. අවසන් දවස්‌ දෙකේ කන්න මුකුත් තිබුණේ නැහැ. වතුර බෝතල් කිහිපයක්‌ මගේ වටේ තිබුණා. යනුවෙන් රෙෂ්මා පවසා තිබිණි. රෙෂ්මාටත් වඩා දින 10 ක්‌ එනම් දින 27 ක්‌ සුන්බුන් අතර සිට දිවි ගලවා ගත්තේ හයිටියේ එවන්ස්‌ මොන්සින්හැක්‌ය. ඔහු හයිටියේ භූමිකම්පාවෙන් පසු ගොඩනැඟිලි සුන්බුන් අතර දින 27 ක්‌ සිරවී සිට පණපිටින් දිවි ගලවා ගත්තේය. පොරට්‌ස්‌ප්‍රින්ස්‌ නුවර කඩා වැටුණු වෙළෙඳ සැල් ගොඩනැඟිලි අතර ඔහු සිර වී සිටි අතර දිවි ගැල වුණේ පහළින් ගලා ගිය කුණු වතුර පානය කළ නිසාය. දින 27 කට පසු එවන්ස්‌ බේරා ගන්නා විට ඔහුගේ බර කිලෝ 27 ක්‌ විය. රෙෂ්මාද එවන්ස්‌ද මරණය පරාජය කළ වීරයන්ද නැතිනම් වාසනාවන්තයන්ද? මෙය අපට කිව නොහැක මන්ද ඔවුන් කවදා හෝ ආපසු යා යුතු බැවිණි.

No comments:

Post a Comment